Jun 4, 2012

අෆ්රිඩීගේ තුන් ඉරියව් දස්කම් ලංකාවට හරහට හිටියි


ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ කළ නව අත්හදා බැලීම් වල ප්‍රතිපල වල පෙනෙන්නට තරම් වරදක් නොතිබුණ ද,සහීඩ් අෆ්රිඩී නම් වූ අති විශිෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩකයා ගේ දස්කම් අභිබවා යන්නට අපොහොසත් වීම නිසා පකිස්තානයට තරගය ජය ගන්නටත්,තරගාවලියේ ප්‍රතිපලය සම කරන්නටත් හැකි විය.මහේල වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වය මෙන්ම ලසිත් මාලිංග ගේ වේගය වෙනුවට ඉසුරු උදාන ගේ වේගය කැදවීමත් ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සිදු වී තිබූ කැපී පෙණුනු වෙනස්කම් විය.මහේල ගේ අඩුව යම් තරමකින් ප්‍රදර්ශනය වුව ද මාලිංග ගේ අඩුව නොදැනෙනන්ට පකිස්තානු පිතිකරුවන් ඇද බැද තබමින් සිය පන්දු ඕවර් 4 ලකුණු 18 ට නිම කරන්නට ඉසුරු උදාන සමත් විය.
පකිස්තානයට ඊයේ දවස තුළ තිබූ විශාලතම හිසරදය බවට පත් වූ නුවන් කුලසේකර සිය වේගයට වඩා මනා පාලනය සහිතව පන්දු මිශ්‍රණයක් යොමු කරමින් පිතිකරුවන් ට විශාල තර්ජනයක් එල්ල කළ අතර ඔහු පන්දු ඔවර් 4 ලකුණු 13 ට නිමා කළේ කඩුලු 2 ක් ද සහිතවය.පන්දු ඕවර් 10 .1 ක් ගෙවෙන තැන දී පකිස්තානයට සිය පිතිකරුවන් සිව් දෙනෙකු ලකුණු 41 ට අහිමි ව තිබු අතර ඉන් අනතුරුව පිටියේ එක වූ සහීඩ් අෆ්රිඩී (නොදැවී 52) සහ සොහීබ් මලික් (27) අතර පස්වන කඩුල්ලට ඇති වූ අගනා ලකුණු 68 ක සබදතාවය නිසා පකිස්තානයට සිය පන්දු ඕවර් 20 නිමා වන විට ලකුණු 122 ක් ලබන්නට හැකි විය.
පිළිතුරු ඉණිමට පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා පිළට ආරම්භය ලබා දෙන්නට මහේල ගේ වගකීම සංගක්කාරට පැවරී තිබුණ ද එය එතරම් සාර්ථක නොවුණු අතර සංගක්කාර ලකුණු 8 ට දැවී ගිය පසු ශ්‍රී ලංකාව කරන්නට උත්සාහ කළ අතහදා බැලීම අසාර්ථක කරමින් අංක තුන පිතිකරු ලෙස පිටියට එවූ නුවන් කුලසේකර ලකුණු නොලබාම දැවී ගියේය.ඒ නිසා ලකුණු 19 ක් වන විට කඩුලු 2 ක් අහිමි වූ ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ කාලයේ ලකුණු සොයමින් සිටින්නේකු ලෙසට පත් වී සිටින ඩිල්ෂාන් සිය පිතිකරණ විශ්වාසය ගොඩ නගමින් සිටින අතරේදී ලකුණු 18 ට අෆ්රිඩී ට ගොදුරු වීමත් සමග ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තු ඈත් වී ගියේය.ලහිරු තිරිමාන්න ද ලකුණු 18 ක් ලැබූ අතර ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූ චාමර කපුගෙදර ලකුණු 19 ක් ලැබීය.
අවසාන මොහොතේදී ඇන්ජලෝ මැතිව්ස් දවා ගැනීමට අපූරු උඩ පන්දුවක් රැක ගත් අෆ්රිඩී  ගේ තුන් ඉරියව් කැපී පෙනීමට පන්දුවෙන් තව දුරටත් ශක්තිය ලබා දුන් යසීර් අර්ෆත් ලකුණු 18 ට කඩුලු 3 ක් සහ මොහොමඩ් සාමි ලකුණු 16 ට කඩුලු 3 ක් දවා ගත්තේය.පළමු තරගයේදී මෙන්ම ලකුණු ලබා ගැනීමට එරෙහි පවුරක් වෙමින් පන්දු යැවූ සොහීල් තන්වීර් සිය පන්දු ඕවර් 4 ලකුණු 15 ට සීමා කළේ එක් කඩුල්ලක් ලබා ගනිමින්ය.ඒ නිසාම තරගාවලිය පුරා ලංකාවට වඩාත්ම අහිතකර වූ පන්දු යවන්නා වෙමින් කැපී පෙණුනු තනවීර් තරගාවලියේ ද වීරයා වූ අතර දෙවන තරගය ශ්‍රී ලංකාවට එරෙහිව අෆ්රීඩි කළ තරගයක් බවට පත් කළ සහීඩ් අෆ්රීඩී තරගයේ වීරයා විය.
පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරයට පිවිසිය හැකි මගයි. http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562438.html

Jun 3, 2012

අසන්තට එරෙහිව අසන්ත


ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ ප්‍රධානි අසන්ත ද මෙල් පසු ගිය දිනෙක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ට පන්දු යැවීමෙන් වැළකී සිටින ලෙස උපදෙස් ලබා දී තිබිය දී ඔහු අයිපීඑල් තරගවල පන්දු යැවීම හෙළා දකිමින් මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් කර තිබිණ.ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහු තෝරා ගන්නේ පිතිකරුවෙකු ලෙස පමණක් බව එහි දී අවධාරණය කරන අසන්ත,ඔහු ගේ සිරුරේ පිහිටීම අනුව ඇගේ ඉහළ කොටස ඔරොත්තු දිය හැකි ශක්තිමත් පාද යුගලක් ඔහුට ස්වභාවයෙන්ම අහිමි ව තිබෙන බවද පැහැදිළි කර තිබිණ.
මාධ්‍යයට කරුණු ඉදිරිපත් කරමින් ද මෙල් අවධාරණය කර තිබුණේ,ඇන්ජලෝ මැතිව්ස් ට පන්දු නොයවන ලෙස අවධාරණය කර තිබිය දී ඔහු පන්දු යවමින් සිය ක්‍රිකට් ජීවිතයට හානි පමුණුවා ගන්නා බව වන අතර ඔහු  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගෙන ඇත්තේ පිතිකරුවෙකු ලෙස පමණක් වන බවය.නමුත් මහේල ජයවර්ධන ඔහු පන්දු යවන්නෙකු ලෙස දිගින් දිගටම පන්දු යැවීම සදහා යොදා ගනිමින් සිටින බව දකින්නට ඇති අතර පකිස්තානයට එරෙහිව පැවති තරගයේදී ද හොදම පන්දු යැවීම ප්‍රදර්ශනය කළේ ද ඇන්ජලෝ මැතිව්ස් ය.

එක ගෙදර අට පෙරට -මලේ කෙහෙවලු පැටලේ


කාන්තා බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම පරිපාලනය දක්ෂතා අනුව වරප්‍රසාද ලබා නොදීම නිසා මෙරට සිටින සැබෑ දක්ෂතා ඇති ක්‍රීඩාකාවන්ට අසාධාරණයක් සිදු වී තිබෙන බවට බැඩ්මින්ටන් පරිපාලයට චෝදනා එල්ල වෙයි.ලංකාවේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින ක්‍රීඩිකාවන්ට මේ තත්ත්වය නිසා ඔලිම්පික් සහභාගීත්වය අහිමිව තිබෙන බව පෙන්වා දෙන බවද බැඩ්මින්ටන් පරිපාලයට එරෙහිව එල්ල වන ප්‍රබලතම චෝදනාවකි.
ලංකාවේ මුල් පස් දෙනා අතරට හෝ ඒමට තරම් දක්ෂතා නැති ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග සහභාගීත්වය සදහා උදව් උපකාර සැපයූ බැඩ්මින්ටන් පරිපාලනය එම සහභාගීත්වය සදහා ලැබෙන ප්‍රසාද ලකුණු නිසා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන් සිටින්නට එම ක්‍රීඩිකාවට අවස්ථාව සළසා දීම තුළින්  සැබෑ දක්ෂයන්ට විශාල අසාධාරණයක් කර තිබෙන බව පෙන්වා දෙයි.මේ සම්බන්ධයෙන් වෙනත් ක්‍රීඩාවන්ට සම්බන්ධ අයගේ ද විරෝධය ජාතික තේරීම් කමිටුවට මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවට ද එල්ල වෙමින් ඇත.ශ්‍රී ලංකාවේ අංක අටට සිටින ක්‍රීඩිකාවක්ට වයිල්ඩ් කාඩ් යටතේ ඔලිම්පික් සහභාගීත්වය ලබා දෙන්නට උත්සාහ දැරීම වෙනුවට වෙනත් ඔලිම්පික් ක්‍රීඩාවකට අදාළව  අංක එකට ඇති ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට එම අවස්ථාව සළසා නොදෙන්නේ ඇයි ද යන්න එම ක්‍රීඩාවන් හරහා නැගෙන ප්‍රබලතම විරෝධය වී ඇත.
රජයේ සියළු විෂයන් ක්‍රියාවට නැගිය යුත්තේ රට පෙරට යන සංකල්පයේ පිහිටා බව අවධාරණය කරන ක්‍රීඩා කේෂ්ත්‍රයේ ප්‍රවීනයන් බැඩ්මින්ටන්ක්‍රීඩිකාවන්ට  සැළකීමේ දී එම පරිපාලනය රජයේ ආශිර්වාදය ලබා දීමේ දි එකට ගෙනවිත් ඇත්තේ අංක අට  බවත් මේ නිසා රට පෙරට වෙනුවට එහිදී අට පෙරට පැමිණ ඇති බවත් පවසයි.

Jun 2, 2012

MEET එක බලන්න FREE TICKET -යේමනය එකට එයි


කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ජූනි 9 දා සිට 12 දා දක්වා පැවත්වීමට නියමිත ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය නැරඹීම සදහා ප්‍රවේශපත්‍ර අවශ්‍යය බවත්,එම ප්‍රවේශ පත්‍ර නොමිලේ ලබා දීමට තීරණය කළ බවත් ක්‍රීඩා අමාත්‍යංශය අවධාරණය කරයි.එම ප්‍රවේශපත්,  සුගතදාස ක්‍රීඩා සංවර්ධන අධිකාරියට අයත් එම හෝටලයේ පවත්වා ගෙන යන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලි ලේකම් කාර්යාලයෙන් ලබා ගැනීමට හැකි බව ද අමාත්‍යංශය වැඩි දුරටත් පැහැදිළි කරයි.
රටවල් 31 ක සහභාගීත්වය ඇතිව පැවත්වීමට නියමිත 15 වන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය සදහා සහභාගි වන රටවල් අතරින් පළමුවෙන්ම දිවයිනට  පැමිණෙන කණ්ඩායම ලෙස නව දෙනෙකුගෙන් යුත්  යේමන් මලල ක්‍රීඩා කණ්ඩායම අද කොටස් දෙකකට කටාර් එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානා වලින් දිවයිනට ළගා වීමට නියමිතව තිබිණ.

නිලූක විදේශ ගතවේ


ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක, මේ වන විට ඔලිම්පික් පරිසාධනයට පිවිස සිටින නිලූක කරුණාරත්න අද, වැඩිදුර පුහුණුව සදහා පෝලන්තය  බලා පිටත් ව යන බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා බැඩ්මින්ටන්  ක්‍රීඩකයෙකු ජගත්  ශ්‍රේණිගත කිරීම් වල පැමිණි ඉහළම ස්ථානය කරා පැමිණ සිටින නිලූක පෝලන්තයේදී කොරියානු පුහුණුකරුවෙකු යටතේ වැඩිදුර පුහුණුව ලැබීමට නියමිතය.
http://sports.dailymirror.lk/wp-content/uploads/file/Niluka-400.jpgක්‍රීඩා අමාත්‍යංශයේ මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේද මැදිහත් වීම ඇතිව නිලූක පුහුණුව ලබන මෙම සංචිතයේ තවත් ඔලිම්පික් සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම පුහුණුව ලබන අතර මෙවර ඔලිම්පික් උලෙලේ බැඩ්මින්ටන් ක්‍රීඩකයන් අතර සියඋපරිමය විදහා පෙන්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් කීර්තියක් අත්පත් කර දීම සිය අරමුණ බව පැහැදිළි කළේය.